බලපත්‍රලාභී බැංකුවල ගනුදෙනුකරුවන්ගේ අයිතිවාසිකම් හා යුතුකම් පිළිබඳ ප්‍රඥප්තිය

  1. හැඳින්වීම

    බලපත්‍රලාභී බැංකු සමග ගනුදෙනු කිරීමේ ගනුදෙනුකරුවන් බලාපොරොත්තු වන සාධාරණ බැංකු සේවාවක ප්‍රධාන ප්‍රමිතීන් පිහිටුවාලීමත්, ගනුදෙනුකරුවන් ආරක්ෂා කිරීම සඳහා ආචාර ධර්ම සංග්‍රහයක් සකසා ගැනීම සඳහා බලපත්‍රලාභී බැංකුවලට මාර්ගෝපදේශයක් සැපයීමත් මෙම ප්‍රඥප්තිය මගින් සිදු කෙරේ. තවද මනා සම්බන්ධතාවයක් පවත්වා ගැනීම සඳහා ගනුදෙනුකරුවන්ගෙන් බැංකුවලට ඉටුවිය යුතු යුතුකම් සමූහයක් ද මෙම ප්‍රඥප්තියේ ඇතුළත්ය

  2. තොරතුරු ලබා ගැනීම සහ බැංකු සේවා තේරුම් ගැනීම

    බැංකුවලින් සපයනු ලබන සේවා පිළිබඳ නිවැරදි තොරතුරු ලබා ගෙන ඒවා තේරුම් ගැනීමට ගනුදෙනුකරුවන්ට අයිතියක් ඇත. මේ සම්බන්ධයෙන් බැංකුවකට අනුගමනය කළ හැකි ක්‍රියාමාර්ග පහත ආකාර වේ.

    1. තමන් විසින් සපයන බැංකු සේවා පිළිබඳව ප්‍රමාණවත් තොරතුරු සපයමින් ඒවා තේරුම් ගැනීමට පාරිභෝගිකයන්ට උපකාරිවීමත්, ඒවායේ මූල්‍යමය ක්‍රියාකාරිත්වය පැහැදිලි කරමින් තමන්ට අදාළ බැංකු සේවාව ලබා ගැනීමට ඔවුන්ට සහාය වීමත් කළ යුතුය.
    2. සිය බැංකු සේවාවල ප්‍රධාන ලක්ෂණ පිළිබඳව සරල බසින් ලියන ලද විස්තර පත්‍රිකා එම සේවා ලබා ගැනීමට අදහස් කරන ගනුදෙනුකරුවන්ට ලබා දිය යුතුය. එම විස්තර පත්‍රිකා ගනුදෙනුකරුවා කැමති භාෂාවකින්, එනම් දෙමළ හෝ ඉංග්‍රීසි මාධ්‍යයෙන්, පැවතිය යුතු අතර, අවම වශයෙන් පහත සඳහන් මූලික තොරතුරු ඇතුළත් විය යුතුය.
      1. බැංකු සේවාව පිළිබඳ විස්තරයක්.
      2. වෙළෙඳ ප්‍රවර්ධන දීමනා ද ඇතුළත්ව ගනුදෙනුකරුවන්ට ලැබෙන මූල්‍ය හා අනෙකුත් ප්‍රතිලාභ.
      3. ගනුදෙනුකරුවන්ගෙන් අය කරනු ලබන ගාස්තු, කොමිස්, පොලිය ආදිය.
      4. බැංකු සේවාව ලබා ගැනීම සඳහා ගනුදෙනුකරු අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටිය.
      5. ප්‍රධාන නියමයන් සහ කොන්දේසි.
      6. ගනුදෙනුකරුවන්ට පැමිණිලි කළ හැකි පොලී ක්‍රියා පටිපාටිය.
    3. බලපත්‍රලාභී බැංකු විසින් ඕනෑම මාධ්‍යයක් මගින් හෝ ප්‍රචාරණ ලියවිලි මගින් සිදු කරන සියලුම වෙළෙඳ දැන්වීම්වල, බැංකු සේවාවන් පිළිබඳ සත්‍ය තොරතුරු ගනුදෙනුකරුවන්ට තේරුම් ගත හැකි වන පරිදි ඇතුළත් විය යුතු අතර, මහජනතාව නොමග යවන ආකාරයේ තොරතුරු ඇතුළත් නොවිය යුතුය. එයට අමතරව බැංකුව ඇමතීමේ තොරතුරු ද එම බැංකුව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අධීක්ෂණයට ලක් කරන බවද එම සියලුම දැන්වීම්වල සඳහන් විය යුතුය.
    4. බැංකුවේ සේවා පිළිබඳ පළ කළ දැන්වීමක් පිළිබඳව වැඩිමනත් තොරතුරු/පැහැදිලි කිරීම් (ගාස්තු සහ පොලී අනුපාත ආදිය පිළිබඳ) ඉල්ලා සිටිය විටදී ලබා දිය යුතුය.
    5. සියලුම බලපත්‍රලාභී බැංකුවල ප්‍රධාන කාර්යාලවල සහ ශාඛා ඇතුළු අනෙකුත් බැංකු සේවා කවුළුවල පහත සඳහන් තොරතුරු පැහැදිලිව ප්‍රදර්ශනය කළ යුතුය
      1. සියලුම තැන්පතු සහ ණය යෝජනා ක්‍රමයන්හි වර්තමාන පොලී අනුපාත
      2. විදේශ විනිමය මිලදී ගැනීමේ සහ විකිණීමේ අනුපාත
      3. බැංකුවේ ණය ශ්‍රේණිය සහ එයට පාදක වූ නිර්ණායකයන්
      4. මූල්‍ය දුක්ගැනවිලි භාර ගන්නා නිලධාරියා (ඔම්බුඩ්ස්මන්වරයා) සහ ණය උපදේශන මධ්‍යස්ථානය ඇමතීමේ තොරතුරු
      5. බැංකු ගනුදෙනුකරණ වේලාවන් සහ නිවාඩු දැන්වීම්
      6. වෙනත් අදාළ ඕනෑම තොරතුරක්
    6. අක්‍රීය ගණයට පත් වූ පාස් පොත් ඉතිරි කිරීමේ ගිණුම් හැර අනෙකුක් තැන්පතු, ණය ගිණුම් හෝ අනෙකුත් සේවාවන්හි ගනුදෙනු හා ශේෂයන් පිළිබඳ ප්‍රකාශනයක් සෑම කාලච්ඡේදයකටම වරක් ගනුදෙනුකරුවා කැමති මාධ්‍යයකින් (මුද්‍රිත හෝ විද්‍යුත්) යැවිය යුතුය.
      ණය කාඩ්පත් සම්බන්ධයෙන් නම් ගෙවිය යුතු අවම මුදල සහ අවම මුදල පමණක් ගෙවුවහොත් අය වන මුළු පොලී මුදලත්, යටත් පිරිසෙයින් අවම මුදලවත් නොගෙවීම හේතුවෙන් අය වන ප්‍රමාද ගාස්තුවත් ණය කාඩ් පත් ප්‍රකාශනයේ සඳහන් විය යුතුය.
    7. විශේෂිත වැඩ සටහන් පවත්වා බැංකුසේවා පිළිබඳ ගනුදෙනුකරුවන්ගේ දැනුම ඉහළ නැංවීමට බලපත්‍රලාභී බැංකු කටයුතු කළ යුතුය.
    8. බැංකු සේවා සැපයීමේදී අදාළ නීති රීති වලට අනුකූලව තොරතුරු වසන් කිරීමකින් තොරව සාධාරණ හා යුක්ති සහගත ලෙස කටයුතු කරන බවට ද තම කාර්ය මණ්ඩලය ආචාර ධර්ම සංග්‍රහයට අනුව කටයුතු කරන බවටද, බලපත්‍රලාභී බැංකු වගබලා ගත යුතුය.
  3. බැංකු සේවාවල නියමයන් සහ කොන්දේසි තේරුම් ගැනීම

    තමන් විසින් බැංකුවකින් ලබා ගන්නා සෑම සේවාවකටම අදාළ නියමයන් සහ කොන්දේසි දැන ගැනීමටත්, ඒවා සියල්ල තේරුම් ගැනීමටත් ගනුදෙනුකරුවන්ට අයිතියක් ඇත.
    මේ සම්බන්ධයෙන් බලපත්‍රලාභී බැංකු විසින් පහත සඳහන් කරුණු පිළිබඳව වග බලා ගත යුතුය.

    1. සෑම බැංකු සේවාවකටම අදාළ වගන්ති සහ කොන්දේසි ගනුදෙනුකරුවන් කැමති භාෂාවකින්, එනම් සිංහල, දෙමළ හෝ ඉංග්‍රීසි භාෂාවෙන් ලබා ගැනීමට හැකි විය යුතුය.
    2. අදාළ බැංකු සේවාව යෝජනා කිරීමට හෝ නිර්දේශ කිරීමට ප්‍රථම එහි නියමයන් සහ කොන්දේසිවල පිටපත් ගනුදෙනුකරුට ලබා දීම සහ ඔවුන්ගේ ගැටළු පැහැදිලිව තේරුම් කර දිය යුතුය.
    3. අදාළ බැංකු නිලධාරියා විසින් බැංකු සේවාවේ නියමයන්, කොන්දේසි සහ ලක්ෂණයන් පැහැදිලිව තේරුම් කර දිය යුතු අතර, පවත්නා විකල්ප බැංකු සේවාවන් පිළිබඳව සැසැඳීමක් ලබා දී තීරණයක් ගැනීම සඳහා සාධාරණ කාලයක් ගනුදෙනුකරුට ලබා දිය යුතුය.
    4. බැංකු සේවාවේ විස්තර ද අදාළ නියමයන් සහ කොන්දේසීන් ද ලබා ගත් බවට, පැහැදිලි කර දුන් බවට හා තේරුම් ගත් බවට ගනුදෙනුකරුගෙන් ලිඛිත සහතිකයක් ලබා ගත යුතුය.
    5. බැංකු සේවාවට අදාළ සියලුම ලියකියවිලි සම්පූර්ණ කර ගනුදෙනුකරුගේ අත්සන යොදා ඇති බව සහතික විය යුතුය. (අසම්පූර්ණ ලියකියවිලි සහ හිස් ලියකියවිලි මත අත්සන් ලබා ගැනීම සිදු නොකළ යුතුය).
    6. යම් සේවාවක් සම්බන්ධයෙන් එකඟවූ නියමයන් සහ කොන්දේසිවලට යම් වෙනසක් කිරීමට ප්‍රථම ලිඛිතව හෝ
      පුවත්පත් දැන්වීමක් මගින් හෝ වෙනත් යෝග්‍ය ආකාරයකින් ගනුදෙනුකරුවන්ට දැනුම් දිය යුතුය.

    නියමයන් සහ කොන්දේසි යටතේ විශේෂයෙන් පහත සඳහන් දෑ දැනගැනීමට ගනුදෙනුකරුවන්ට අයිතියක් ඇත.

    1. පොලිය ගණනය කිරීමේ ආකාරයද ඇතුළත්ව ගනුදෙනුකරුවන් ගෙවිය යුතු පොලී අනුපාත, ගාස්තු හා කොමිස් ආදී සාමාන්‍ය බැංකු අය කිරීම් පිළිබඳ විස්තර.
    2. පැමිණිලි භාර ගැනීමේ සහ නිරාකරණය කිරීමේ බැංකුවේ ක්‍රමවේදය.
    3. ගනුදෙනුකරු තම යුතුකම් ඉටු කිරීමට අපොහොසත් වූ විට බැංකුව විසින් අනුගමනය කරන අය කිරීම් ක්‍රියාමාර්ග හා බැංකුවේ එවැනි වියදම් ගනුදෙනුකරුගෙන් අය කර ගන්නා බව.
    4. යම් බැංකු සේවාවකින් කල් පිරීමට ප්‍රථම ඉවත් වන්නේ නම්/අවසන් කරන්නේ නම් ගනුදෙනුකරු විසින් ගෙවිය යුතු වන්දි මුදල් පිළිබඳ විස්තර.
    5. ගිණුමක් විවෘත කිරීමේදී, වසා දැමීමේදී, පවත්වා ගැනීමේදී (උදා:- අවම ශේෂයන් පවත්වා ගැනීම), අරමුදල් මාරු කිරීමේදී අදාළ කොන්දේසි හා අත්හැර දැමූ දේපල හා අක්‍රීය ගිණුම් පිළිබඳ ප්‍රතිපත්ති සහ ක්‍රියාපටිපාටි.
    6. නිත්‍යනුකූලව අවසරලත් පාර්ශවයකට ගනුදෙනුකරුවන්ගේ තොරතුරු අනාවරණය කෙරෙන බව.
    7. (i) සැක කටයුතු ගනුදෙනු හා සීමාවකට ඉහළ ගනුදෙනු මූල්‍ය බුද්ධි ඒකකයට වාර්තා කිරීම (ii) ගනුදෙනුකරුවෙකුගේ මූල්‍ය උපකරණ/කාඩ් පත් සොරකම් කරනු ලැබූ විට එය දැනුම් දීමේ ගනුදෙනුකරු විසින් අනුගමනය කළ යුතු ක්‍රියා පිළිවෙත (iii)ගනුදෙනුකරුගේ සහ බැංකුවේ වගකීම් වලට අදාළ නීති රීති.
    8. ණයක් සඳහා සුරැකුමක් ලෙස රඳවා ගත් දේපලක් අත්පත් කර ගැනීමට බැංකුව ගන්නා ක්‍රියාමාර්ග සහ එමගින් ගනුදෙනුකරුට ඇති වන ප්‍රතිවිපාක සහ ඔහුට/ඇයට හිමි විකල්ප අවස්ථා.
  4. බැංකුවක් සිය සේවාවක් අවලංගු කිරීමේදී ගනුදෙනුකරුවන්ට වන්දි ගෙවීම

    දැනට ගිවිසුම් ගත තැන්පතු ක්‍රමයක් වැනි සේවාවක් අවසන් කිරීමට හෝ ඉන් ඉවත් වීමට බැංකුවක් අදහස් කරන්නේ නම් කල් ඇතිව හෙළිදරව් කරන ලද වන්දි ගෙවීමේ ක්‍රමවේදයක් ද සමග ගනුදෙනුකරුට සාධාරණ කාලයක් ලබා ගැනීමට අයිතියක් ඇත.

  5. බැංකුවල නියෝජිතයන්ගෙන් ආරක්ෂා වීම.

    බලපත්‍රලාභී බැංකු විසින් පාරිභෝගික සේවා සඳහා පත් කළ නියෝජිතයන්ගේ විස්තර දැන ගැනීමට ද බැංකු විසින් ඔවුන්ට පහත සඳහන් දෑ සිදු නොකරන ලෙස දන්වමින් නිකුත් කළ ආචාර ධර්ම සංග්‍රහය පිළිබඳ දැන ගැනීමට ද ගනුදෙනුකරුවන්ට අයිතියක් ඇත. ඒවා නම්,

    1. ගනුදෙනුකරුවන්ට හිරිහැර කිරීම.
    2. නොහොබිනා ණය අය කර ගැනීමේ ක්‍රම යොදා ගැනීම./li>
    3. ගනුදෙනුකරුවන්ගේ තොරතුරු වෙනත් අයට හෙළිදරව් කිරීම.
    4. බැංකු සේවා පිළිබඳ වැරදි හෝ නොමග යවන තොරතුරු ලබාදීම.
    5. බැංකු සේවාවක් ලබා ගැනීම සඳහා ගනුදෙනුකරුවන්ව හෝ මහජනතාව නොමනා ලෙස පෙළඹවීම.
    6. බැංකුවෙන් පිටතදී සුරැකුම් සම්බන්ධ ලිපි ලේඛනවලට අත්සන් ගැනීම.
  6. පැමිණිලි කිරීම සහ සහන

    විනිවිද පෙනෙන ලෙස සහ ඵලදායී ලෙස තමන්ගේ පැමිණිලි නිරාකරණය කර ගැනීමට ගනුදෙනුකරුවන්ට අයිතියක් ඇත. මේ සම්බන්ධයෙන් බලපත්‍රලාභී බැංකු පහත සඳහන් දෑ අනුගමනය කළ යුතුය.

    1. ආරවුල් ඉක්මනින් නිවැරදි කිරීම, කෙටි කාලයක් තුළ පැමිණිලි නිරාකරණය කිරීම, සෑහීමකට පත් නොවන්නේ නම් පැමිණිල්ල තවදුරටත් ඉදිරියට ගෙන යාමට ගනුදෙනුකරුට මග පෙන්වීම සහ අත්වැරදීමකින් අය කළ ගාස්තුවක් අවලංගු කිරීම ආදිය මගින් ගනුදෙනුකරුවන් සහ බැංකු අතර ආරවුල් ඉක්මනින් සහ ඵලදායී ලෙස නිරාකරණය කිරීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කළ යුතුය.
    2. පැමිණිලි භාර ගැනීම සහ ඒවා විසඳීමට ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ලිඛිත ක්‍රියා පටිපාටියක් තිබිය යුතුය.
    3. පැමිණිල්ල ලැබුණ බවට සාධාරණ කෙටි කාලයක් තුළ ගනුදෙනුකරුට ලිඛිතව දැනුම් දිය යුතු අතර, එම පැමිණිල්ල නිරාකරණය කිරීමට බැංකුව ගන්නා ක්‍රියාමාර්ග සහ පැමිණිල්ල පිළිබඳව කටයුතු කරන නිලධාරියාගේ/නිලධාරීන්ගේ ඇමතුම් විස්තර දිය යුතුය.
    4. ලිඛිතව මෙන්ම වාචිකව පැමිණිලි කිරීමට පහසුකම් සැපයිය යුතු අතර, ලිඛිතවම පැමිණිලි ඉදිරිපත් කරන ලෙසට බල නොකළ යුතුය.
    5. මෙහෙයුම් අවදානම් කළමනාකරණ කමිටුවේ කාර්ය භාරයේ කොටසක් ලෙස පැමිණිලි හා ඒවා විසඳීමේ ක්‍රියාවලිය සම්බන්ධ කළමනාකරණ තොරතුරු පද්ධතියක් පිහිටුවීම කළ යුතුය.
    6. සෑම ශාඛාවකම හෝ කාර්යාලයකම පැමිණිලි විසඳීම සහ කළමනාකරණයට තොරතුරු සැපයීම සඳහා නිලධාරියෙකු පත් කළ යුතුය.
    7. තමන්ට සෑහීමකට පත් විය හැකි ලෙස පැමිණිල්ල නිරාකරණය නොවූයේ නම් මූල්‍ය දුක්ගැනවිලි භාර ගන්නා නිලධාරියා (ඔම්බුඩ්ස්මන්වරයා) මාර්ගයෙන් හෝ අධිකරණය මාර්ගයෙන් හෝ සුදුසු ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙසට ගනුදෙනුකරුට උපදෙස් දිය යුතුය.
  7. විශේෂ අවධානය සහ රැකවරණය

    බැංකු පහසුකම් ලබා ගැනීමට සාධාරණ ලෙස ප්‍රවේශවීම සඳහා වැඩිහිටි, ආබාධිත හෝ මූල්‍ය කටයුතු පිළිබඳ අඩු අවබෝධයක් ඇති ගනුදෙනුකරුවන්ට විශේෂ අවධානයක් ලබා ගැනීමට අයිතියක් ඇත.

  8. ගනුදෙනුකරුවන්ගේ යුතුකම්

    ගනුදෙනුකරුවන් සිය බැඳීම් ඉටු කරමින් බැංකු සමග සිය සම්බන්ධතාවය වර්ධනය කර ගත යුතුය. මේ අනුව,

    1. ගනුදෙනුකරුවන් තමන්ට දැරිය හැකි ණය ආපසු ගෙවීමේ සීමාව ඉක්මවා ණය ලබා නොගත යුතුය.
    2. ගනුදෙනුකරුවන් සිය ගෙවීම් හා වාරික හිඟ හිටි තත්ත්වයන්ට පත් වීමට ඉඩ නොතැබිය යුතු අතර, අප්‍රමාදව ගෙවීම් සිදු කිරීම් මගින් බැංකු සමග යහපත් සම්බන්ධතාවන් පවත්වා ගත යුතුය.
    3. ගනුදෙනුකරුවෙකුට ඔහුගේ/ඇයගේ ණය මුදල, ණය කාලසීමාව අවසන් වීමට පෙර ගෙවා නිම කිරීමට අවශ්‍ය වන්නේ නම්, ණය මුදල ලබා ගන්නා අවස්ථාවේදී එකඟ වූ පරිදි, ණය මුදල මත ගණනය කරනු ලබන ගෙවීමකට යටත් වීමට සිදු වේ.
    4. ගනුදෙනුකරුවෙකුට ඔහුගේ/ඇයගේ හිඟ ණය මුදල් පොරොන්දු වූ පරිදි, ආපසු ගෙවීමට නොහැකි නම්, බැංකුවේ නියමයන් සහ කොන්දේසි වල සඳහන් පරිදි බැංකුවේ වියදම් ද ඇතුළුව ලැබිය යුතු මුදල අය කර ගැනීමට බැංකුවට අයිතියක් ඇත.
    5. ගනුදෙනුකරුවෙකුට යම්කිසි හෝ මූල්‍ය අපහසුතාවයක් පැන නැඟුන විටදී හැකි ඉක්මනින් ඒ සම්බන්ධයෙන් බැංකුව දැනුවත් කළ යුතුය. බැංකුව ගනුදෙනුකරුවන්ගේ ගැටළු සාකච්ඡා කිරීමට යුහුසුළු වන තරමට බැංකුව සහ ගනුදෙනුකරු යන දෙපාර්ශවයටම විසඳුමකට එළඹීමට පහසු වනු ඇත.
    6. ගනුදෙනුකරුවන්ගේ ගෙවීම් පැහැර හරින ලද අවස්ථාවකදී බැංකුව විසින් ගනු ලබන පළමු ක්‍රියාමාර්ගය වන්නේ පාරිභෝගිකයා ඇමතීමයි. මේ අනුව, ගනුදෙනුකරු ඔහුගේ/ඇයගේ ලිපිනයේ හෝ අනෙකුත් සම්බන්ධ කර ගත හැකි තොරතුරුවල වෙනසක් සිදු වුවහොත් ඒ පිළිබඳව බැංකුව දැනුවත් කිරීම වැදගත් වේ.
    7. ගිවිසුමට එළඹීමට පෙර බැංකුව විසින් සපයනු ලබන සියලු සේවා පිළිබඳ පූර්ණ දැනුමක් හා අවබෝධයක් ගනුදෙනුකරු සතු විය යුතුය.
    8. ගනුදෙනුකරුවන් අදාළ අයදුම්පත සහ අනෙකුත් අවශ්‍ය ලියකියවිලි නිසි පරිදි සම්පූර්ණ කොට අප්‍රමාදව ඉදිරිපත් කළ යුතුය.
    9. ගනුදෙනුකරුවන් බැංකු සමග සිදු කරන සියලු ගනුදෙනු වලදී සුපරික්ෂාකාරිව කටයුතු කළ යුතුය.
    10. ඕනෑම වංචනික ගනුදෙනුවක් හෝ එවැනි වෑයමක් දැනගත් අවස්ථාවකදී, ගනුදෙනුකරුවන් ඒ පිළිබඳව වහාම බැංකුව දැනුවත් කළ යුතුය.
    11. ගනුදෙනුකරුවන්, බැංකු විසින් නිකුත් කරනු ලබන විද්‍යුත් කාඩ් පත්‍ර භාවිතයේදී සහ ළඟ තබා ගැනීමේදී/ඒවායේ රහස්‍ය අංක සහ ආරක්ෂිත මිනුම් දඬු කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ යුතුය.
    12. බැංකුවට ගෙවීමට ඇති මුදල පිළිබඳ යම් මතභේදයක් හැර ඉහත 2 සිට 7 වැනි වගන්තිය දක්වා සඳහන් බැංකුවක යුතුකම් පිළිබඳ කිසියම් මෙහෙයුම් දෝෂයක් අධිකරණයක අවසරයකින් තොරව ගනුදෙනුකරු ඔහුගේ/ඇයගේ ණය නොපියවීමට හෝ පියවීම පමා කිරිමට හේතුවක් ලෙස නොසැළකිය යුතුය. එවැනි සියලු සිදුවීම් වෙනම හෝ තනි තනිව විසඳා ගත යුතුය.